ඇත්ත පිළිගන්න අමාරුයිද?
හැබැයි යථාර්ථයේදී, අපි සියල්ලෝම වගේ "Confirmation Bias (තහවුරු කරගැනීමේ නැඹුරුතාව)" කියලා කියන සංකල්පයකට හිරවෙනවා. මේකෙන් කියන්නේ, අපේ විශ්වාසයන් බොහෝ විට පදනම් වෙලා තියෙන්නේ ඒවා තහවුරු කරන තොරතුරු කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කිරීම මත කියලා. ඒ වගේම, ඒවාට විරුද්ධ පැත්තට තියෙන තොරතුරු නොසලකා හරින්න අපි ඉබේම කටයුතු කරනවා.
උදාහරණයක් විදිහට, දකුණත හුරු අයට වඩා වමත හුරු අය නිර්මාණශීලී කියලා කවුරුහරි විශ්වාස කරනවා කියලා හිතන්න. එතකොට මෙයා වමත හුරු සහ නිර්මාණශීලී පුද්ගලයෙකු දැක්ක ගමන්, මෙයා දැනටමත් විශ්වාස කරන දේ තව ටිකක් තහවුරු කරගන්න ඒක සාක්ෂියක් විදිහට පාවිච්චි කරනවා. එතකොට මෙයා මේකට විරුද්ධ මතය (දකුණත් අය නිර්මාණශීලී කියන එක) ගැන තොරතුරු හොයන්නේ නැතුව ඉන්න හා මග හරින්න බොහෝ විට පෙළඹෙනවා.
හැබැයි එහෙම වුනත්, මේ සංකල්පය අපිට ඇත්තටම ගොඩක් අවස්ථාවන් වලදී උදව් වෙනවා. මොකද අපි දැනටමත් දන්නා දේ තවදුරටත් වැඩි කරගන්න එක අපිට ඉක්මනින් හොඳ තීරණ ගන්න ගොඩක් උදව් වෙනවා. එතකොට ඒක අපේ පැවැත්මට අත්‍යාවශ්‍යම දෙයක් වෙනවා. ඒ වගේම මේක අපිට මානව පරිණාමයත් එක්ක ලැබුණු දෙයක්.
මෙතනදි මේ හා සම්බන්ධ තව සංකල්පයක් තියෙනවා. ඒක තමා, අපි යම් දෙයකට වැඩි වැඩියෙන් නිරාවරණය වෙන තරමට, අපි ඒකට වැඩි වැඩියෙන් කැමැත්ත දක්වන්න නැඹුරුතාවයක් තියෙනවා. උදාහරණයක් විදිහට, ඔයා අත්විදලා ඇති ඔයා කවදාහරි රේඩියෝ එකෙන් අහපු ගීතයකට පලවෙනි පාර අකමැති වුනත් ඒක තව තවත් කිහිප වාරයක් වාදනය වුණාම ඔයා ඒකට ඉබේම කැමති වෙනවා. මනෝවිද්‍යාඥයින් මේක "නිරාවරණ බලපෑම" කියලා හඳුන්වනවා. මේ සංකල්පයෙන් විස්තර කරනවා, අපි හුරුපුරුදු කෙනෙක්ගේ මුහුණක් හා නාදුනන කෙනෙක්ගේ මුහුණක් දැක්කාහම, මේ පුද්ගලයන් දෙන්නාම එකම ඉරියව් වලින් හිටියත්, හුරුපුරුදු කෙනා වඩාත් ප්‍රීතිමත් සහ ලස්සනයි කියලා දැනෙන හේතුව. ඉතින් තවද, මෙතනදී, අපි මිනිස්සු එක්ක වැඩි කාලයක් හොදින් ගත කරන තරමට, ඔවුන් අපට වඩාත් ආකර්ෂණීය ලෙසත් අපිට පේනවා.
එතකොට අපි මේ සංකල්පය පරිණාමීය දෘෂ්ටිකෝණයෙන් බැලුවොත්, අපි කාලයක් තිස්සේ දෙයකට ආස කලොත් ඒක අපිට හුරුපුරුදු දෙයක් වෙනවා. එතකොට අපි හිතන්න ගන්නවා අපිට හුරුපුරුදු දේ තමා බොහෝ විට හොද දේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට "නිරාවරණ බලපෑම" හා "තහවුරු කරගැනීමේ නැඹුරුතාව" කියන සංකල්ප දෙක එකිනෙක සම්බන්ධ වෙනවා.
සමහර වෙලාවක, සමහර ගැටලුවක් සංකීර්ණ වුණාම, මේ "තහවුරු කරගැනීමේ නැඹුරුතාව"ට කෙළ වෙනවා. ඒ තමා අපි පට්ට ඇත්ත කියලා හිතන් හිටපු දෙයක් බොරුයි කියලා ඔප්පු උනාම. මෙතනදි අපේ මොළය කැමති නෑ අපේ මතයට වඩා විරුද්ධ මතයකට ඔලුව හදාගන්න. මොකද අපේ මොළය හිතන්නේ අපි ඒක දැනටමත් තහවුරු කරගෙන ඉන්නේ කියලා. ඉතින් මෙන්න මේ තැන් වලදී තමා ජාතිවාදය, ආගම්වාදය හා ලිංගවාදය වගේ දේවල් එළියට එන්නේ.
තවද, දැන් අපි පාවිච්චි කරන ගොඩක් සමාජ ජාලා, මේ අපේ තියෙන තහවුරු කරගැනීමේ නැඹුරුතාව ගොඩක් ප්‍රයෝජනයට ගන්නවා. මෙතනදී මෙයාලා කරන්නේ, ඔයාට ඔයා ආස දේවල් විතරක් එයාලාගේ කෘතීම බුද්ධිය පාවිච්චි කරලා පෙන්නලා, ඔයාව වැඩි කාලයක් එයාලාගේ සමාජ ජාලයේ තියාගන්න එක. එතකොට ඒක එයාලාට පට්ට වාසියක්. එතකොට ඔයා දකින්නේ ඔයාගේ මතයට අදාල දේ විතරයි. මොකද ඔයා ආස නැති දේවල් ඔයා දකින්නේ නෑ. එතකොට ඔයාගේ මතය තව තවත් තහවුරු වෙනවා. ඒත් මෙතනදි කවුරු හරි විරුද්ධ මතයක් ඉදිරිපත් කලොත්, ඔයා ඒක ගනන් නොගෙන ඔයාගේ මතය වෙනුවෙන් ඔයා සමහරවිට සටන් කරනවා.
ඉතින් මෙතනදි ඔයා තේරුම් ගන්න ඕනේ, මේ හැමදෙයක්ම මොළයෙන් කරන රැවටීමක් කියන එක. ඔයා සත්‍යයි හෝ අසත්‍යයි කියලා හිතන දෙයක්, ඇත්තටම එහෙම නොවෙන්න පුලුවන්. ඒ නිසා තවකෙනෙක් මතයක් ඉදිරිපත් කලාම, ඒක නොසලකා හැරලා ගහමරා ගන්නවා වෙනුවට, මානව ස්වභාවය අභිබවා ගිහින් මධ්‍යස්ථ මට්ටමක ඉදන් ඒ දේ ගැන සත්‍ය හොයන්න පුරුදු වෙන්න. අවසාන වශෙයෙන්, ඔයා සමාජ ජාලාවක හරි වෙනත් තැනක හරි, දෙයක් දැක්ක පමණින් ඒ දේ විශ්වාස කරන්න එපා. ඒ වෙනුවට, ඔයා හරි ගවේෂණයක් කරලා සත්‍ය මොකක්ද කියලා හොයාගන්න.
References - යොමු
Cherry, K. (2020, December 11). How Confirmation Bias Works. Verywellmind. https://www.verywellmind.com/what-is-a-confirmation-bias-2795024
Stibel, J. (2018, May 15). Fake news: How our brains lead us into echo chambers that promote racism and sexism. USA Today. https://www.usatoday.com/story/money/columnist/2018/05/15/fake-news-social-media-confirmation-bias-echo-chambers/533857002/
- Photo Credit: sproutsschools.com
Comments
Post a Comment