ශ්‍රී ලංකාවේ මුතු කර්මාන්තය හා ඉතිහාසය
අපේ රටේ මේ මුතු කර්මාන්තයට හෙන දිග ඉතිහාසයක් තියෙනවා. ඉන්දියන් සාගරයේ මුතු ඇටේ කියලා අපේ රට හදුන්වන්නත් ඒක හේතුවක් වෙනවා. එතකොට අපේ දේවානම්පියතිස්ස රජතුමා අශෝක රජතුමාට යවලා තියෙන තෑගි වලත් මුතු තිබ්බා කියලා මතයකුත් තියෙනවා.
ඉස්සර කාලේ, ලංකාව කියන්නේ පෙරදිග හා අපරදිග වෙළඳ මධ්‍යස්ථානයක්. එතකොට ඒ කාලේ වැඩිපුරම අපි අපනයනය කරලා තියෙන්නේ මුතු, මැණික්, ඇත්දත් හා දළ ඇතුන්ව. ඉතින් මේනිසා ඒකාලේ ලංකාව පට්ටම පෝසත් රටක්.
ඉතින් මේ මුතු අපිට කොච්චර සමීපද කියනවා නම්, අපේ මිනිස්සු මුතු හා ස්ත්‍රීන් සම්බන්ධව ජනකවිත් හදලා තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ ජනකවියක්.
"කටුගස්‌තොටේ මම තනියම නාන කො ට
ළමිස්‌සියක් බැස්‌සයි මගෙ ඉස්‌සර ට
කරේ තිබුණු මුතු දෙපටේ ලස්‌සන ට
ගෙන යන්නට සිතුනයි මට ඈ ගම ට"
එතකොට ඒ කාලේ "මුතු කෙළිය" කියලා ක්‍රීඩාවකුත් තිබිලා තියෙනවා. හැබැයි මුල් කාලේ ඕක තිබ්බේ සල්ලි තියෙන පොරවල් අතර විතරයි. ඒත් පස්සේ පස්සේ මේක සාමාන්‍ය මිනිස්සුන්ටත් ගියා. ඉතින් මේ තියෙන්නේ මුතු කෙළිය හා සම්බන්ධ ජනකවියක්.
"උදාරමට මුතු කෙළිනා සීරු ව
සැදී දෙපිල අඟනන් සිට මාරු ව
අතේ වළලු නද දෙති එක සීරු ව
මේදා නෑනේ දෙනවද මුතු පෝරු ව"
පට්ට නේද ඒ ජනකවි? දැන් ඉතින් ඔයාලත් දන්න ජනකවියක් දෙකක් මේකේ යටින් comment කරන් යන්ඩ හැමෝටම පේන්නත් එක්ක. (මුතු වලටම අදාල වෙන්න ඕනේ නෑ). අපි බලමු ශ්‍රී ලංකාවේ කොච්චර ජනකවි ෆෑන්ස්ලා ඉන්නවද කියලා ;-)
ඒ කාලේ ලංකාවේ නොගැඹුරු මුහුදු තීරයේ මුතු පර එහෙම ගොඩාක් තිබිලා තියෙනවා. මෙතනදි අවශ්‍ය උෂ්ණත්වය හා ගල්පර නිසා ඇතිවන පෙන සුපයන්, මුතුබෙල්ලන් බෝවීම කෙරෙහි විශාල වශයෙන් බලපානවා. දැඩි වශෙයෙන් මුහුද කැළඹුනාම, මේ මුතු බෙල්ලෝ මුතු හදන්න පටන්ගන්නවා. මෙතනදී වැලි, සිප්පිකටු කෑලි, කොරල් කෑලි වගේ ආගන්තුක දේවල් මුතුබෙල්ලන්ගේ ඇතුළට යනවා. ඉතින් මේ වගේ ආගන්තුක දේවල් ඌගේ ඇගට ගියාම ඌගේ ඇගෙන්ම ඒක ප්‍රතික්ෂේප කරන්න හෙන ගේමක් දෙනවා. එහෙම උනාම මුතුබෙල්ලාගෙන් පිටවන රසායනික ද්‍රව්‍යයක් බාහිරින් ආපු ආගන්තුක දේවල් වටේ නිතරම බැදෙන හෝ රැස්‌වෙන නිසා ස්‌වාභාවික මුතු ඇතිවෙනවා. එතකොට මෙතනදි මේ වෑස්සෙන ආගන්තුක දේවලුත් ගොඩක් වෙලාවට බෙල්ලාගේ කටුවෙ දෙපැත්තේ තැන්පත් වෙලා ඒවායෙනුත් මුතු හැදෙනවා.
ඒ වගේම, මුතු බෙල්ලක් හම්බුනාම, මුතු ඇටය පාටින්ම එම බෙල්ලාගේ කටුව ඇතුලේ ඉතා ඉහළ දීප්තියකින් තියෙන, මුතු වගේම පටලයක් බැදිලා තියෙන නිසා ඉක්‌මන්ට මුතු බෙල්ලන් අදුරගන්න පුළුවන්.
තවද, ඒකාලේ ගොඩක්ම මේ මුතු කර්මාන්තය ව්‍යාප්ත වෙලා තිබිලා තියෙන්නේ ත්‍රිකුණාමලය හා මන්නාරම් බොක්ක ආශ්‍රිතව. ඒත් අද මිනිස් ක්‍රියාකාරකම් හා ගෝලීය උණුසුම වැඩි වීම නිසා මන්නාරම් මුහුදු තීරය ආශ්‍රිතව තියෙන මුතු පර ලොකු තර්ජනයකට ලක්වෙලා තියෙනවා.
References - යොමු
මුතු. (2021, September 7). In Wikipedia. https://si.wikipedia.org/wiki/මුතු
- Cover Photo Credit: www.2pointcontact.com
- Oysters Farm Photo Credit: www.aces.edu
Comments
Post a Comment