පැස්ටෆාරී ආගම සහ පියාඹන ස්පෙගැටි රාක්ෂයා

පැස්ටෆාරී ධර්මයේ (නැත්තම් ගොඩක් අය දන්න විදිහට පියාඹන ස්පෙගැටි රාක්ෂයාගේ පල්ලියේ) දෙවියා තමා "පියාඹන ස්පෙගැටි රාක්ෂයා (Flying Spaghetti Monster -FSM)". මේ ආගමේ සාම්ප්‍රදායික හිස් වැස්ම, පෙනේර බදුනක්.

පියාඹන ස්පෙගැටි රාක්ෂයා කියන එක මුලින්ම විස්තර කෙරෙන්නේ, කැන්සාස්(Kansas) ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලය විසින් දීපූ "පරිණාමය(evolution) විෂය වෙනුවට බුද්ධිමත් නිර්මාණකරනය (intelligent design) කියන විෂය රජයේ පාසල් වල විද්‍යා පන්තිවල උගන්නන්න" කියන තීරණයට විරෝධය පළ කරලා 2005 වසරේදී භෞතික විද්‍යා උපාධිධාරියෙක් වෙන බොබී හෙන්ඩසන් (Bobby Henderson) විසින් ලියන ලද උපහාසාත්මක විවෘත ලිපියකින්. මේ ලිපියෙදි හෙන්ඩසන් බුද්ධිමත් නිර්මාණකරනය සහ පරිණාමය යන විෂයන් එක්ක "පියාඹන ස්පැගටි රාක්ෂවාදය" සඳහාත් සමාන කාලයක් දෙන්න කියලා ඉල්ලලා තියෙනවා. 

හෙන්ඩර්සන් මේ ලිපිය ඔහුගේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු "පියාඹන ස්පෙගැටි රාක්ෂයා" අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වාක්‍ය ඛණ්ඩයක් බවට පත් වුනා. ඒ වගේම ඒක රජයේ පාසල් වල බුද්ධිමත් නිර්මාණකරන ඉගැන්වීමේ විරෝධතාවයේ සංකේතයක් විදිහටත් හැදින්වුවා. ඔහොම ඔහොම තමා මේ ආගමේ ආරම්භය සිද්ධ වුනේ.

මේ ආගමේ දේවකථාව තමා, අදෘශ්‍යමාන හා හසුකරගත නොහැකි පියාඹන ස්පෙගැටි රාක්ෂයා අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් පස්සේ මේ විශ්වය මැවූ බව. මේ විශ්වාසයට අනුව වැරදි සහිත ලෝකයක් බිහිවීමට හේතුව පියාඹන ස්පෙගැටි රාක්ෂයාගේ බීමත්කමයි.

මෙයාලාට අනුව, දිව්‍යලෝකේ බියර් ගිනිකදු සහ නිරුවත් මිනිස්සු (සමහර වෙලාවට ගණිකාවෝ) දකින්න පුලුවන්. එතකොට අපායේ දකින්න හම්බෙන්නේ ජරා රහක් තියෙන බියර් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග (STD) තියෙන නිරුවත් මිනිස්සු.

පැස්ටෆාරියානු විශ්වාසයන්ට අනුව, මුහුදු කොල්ලකරුවන් කියන්නේ "පරම දිව්‍යමය ජීවීන්" වන අතර ඔවුන් තමා සැබෑම පැස්ටෆාරියානුවන්. තවද, මොවුන් විශ්වාස කරන්නේ මුහුදු කොල්ලකරුවන්, "සොරුන් සහ නරක මිනිස්සු" කියන සංකල්පය මධ්‍යතන යුගයේ ක්‍රිස්තියානි දේවධර්මාචාර්යවරුන් විසින් ව්‍යාප්ත කරපු පචයක් කියලා. ඒ වෙනුවට, මොවුන් විශ්වාස කරන්නේ, ඔවුන් කුඩා දරුවන්ට රසකැවිලි බෙදා දුන් "සාමයට ලැදි ගවේෂකයින් සහ යහපත් දේවල් ව්‍යාප්ත කරන්නන්" බව වන අතරම නූතන මුහුදු කොල්ලකරුවන් කිසිඳු ආකාරයකින් "ඉතිහාසයේ විනෝදකාමී බකනියර්ස්ලා" හා සමාන නොවන බව මොවුන් විශ්වාස කරනවා. ඊට අමතරව, බර්මියුඩා ත්‍රිකෝණයේ අද්භූත ලෙස අතුරුදහන වූ නැව් සහ ගුවන් යානා සියල්ලටම වගකියන්න ඕනේ "භූත මුහුදු කොල්ලකරුවන්" බව පැස්ටාෆේරියානුවන් විශ්වාස කරනවා.

හෙන්ඩසන්ට අනුව, ගෝලිය උෂ්ණත්වය ඉහළ යාම, භූමිකම්පා, ගිනිකදු පිපිරීම් වගේ ස්වභාවික ව්‍යසන සිද්ධ වෙන්නේ 1800 ගනන් වල ඉදන් ගිලී මියගිය මුහුදු කොල්ලකරුවන්ගේ බලපෑම නිසා. තවද ඔහුගේ එක් ප්‍රස්ථාරයක, මුහුදු කොල්ලකරුවන් ගිලී මියයන තරමට සමානව ගෝලිය උෂ්ණත්වය ඉහල යන බව පෙන්නලා තියෙනවා.

තවද, සැප්තැම්බර් 19 වෙනිදා මුහුදු කොල්ලකරුවන්ගේ දිනයක් කියලා එකක් මොවුන් සමරනවා. ඒ වගේම හැම සිකුරාදාම මෙයාලාගේ නිවාඩු දවසක්.

ඒ වගේම, මේ ආගමේ සේරම යාඥාවන් අවසන් කරන්නේ "රාමේන්" කියන පදයෙන්. මේ පදය මෙයාලා ක්‍ෂණික නූඩ්ල්ස් සහ ඔවුන්ගේ දෙවියාගේ නූඩ්ලි උපාංගය හදුන්වන්න යොදාගන්නවා.

මෙයාලාගෙ ආගමික ග්‍රන්ථයන් 2ක් තමා The Gospel of the Flying Spaghetti Monster සහ The Loose Canon කියන්නේ. 


References - යොමු

Flying Spaghetti Monster. (2021, September 5). In Wikipedia. https://en.m.wikipedia.org/wiki/Flying_Spaghetti_Monster

Meacham, T. (2019, October 18). I, Pastafari: we all have something to learn from the Church of the Flying Spaghetti Monster. The Conversation. https://theconversation.com/i-pastafari-we-all-have-something-to-learn-from-the-church-of-the-flying-spaghetti-monster-124035




Comments